විපස්සනා
එස් එන්. ගොඑන්කා විසින් උගන්වනු ලබන පරිදි
භාවනාව
සයාජී ඌ බා කින් තුමාගේ සම්ප්‍රදායට අනුව
ආචාර්ය පරම්පරාව
සයාජී ඌ බා ඛින්
1899-1971
පහත පළවන ලිපිය විපස්සනා පර්යේෂණ ආයතනය මගින් පළ කරන ලද ඌ බා ඛිං සඟරාවෙන් උපුටා ගෙන සකස් කරන ලද්දකි.
සයාජී ඌ බා ඛින් බුරුම දේශයේ රැංගුන් නුවරදී 1899 මාර්තු මස 6 වැනි දින උපත ලැබීය. ඔහු කම්කරු ජනයා වාසය කරන දිස්ත්‍රික්කයක දරුවන් දෙදෙනෙකුගෙන් යුත් සාමාන්‍ය පවුලක දෙවැන්නා විය. ඔහු හොඳ මතක ශක්තියක් ඇති දක්ෂ ශිෂ්‍යයෙක් විය. ඉංග්‍රීසි ව්‍යාකරණ පොත මුල සිට අග දක්වා ඔහු කට පාඩම් කරගෙන තිබුණි. 1917 ඔහු උසස් පෙළ අවසන් පරීක්ෂණයෙන් සමත් වූයේ රන් පදක්කමක් සහ විද්‍යාලීය ශිෂ්‍යත්වයක් ද දිනා ගනිමිනි. එනමුත් පවුලේ බලපෑම නිසා ඔහු අධ්‍යාපනය අතරමග නවතා දමා මුදල් ඉපයීමට පටන් ගත්තේය. ඔහුගේ පළමු රැකියාව වූයේ, සන්The Sun නමැති බුරුම පුවත් පත් සේවයයි. නමුත් ටික කලකට පසුව බුරුම රජයේ ගණකාධිකාරි ජෙනරාල් කාර්යාලයේ ගිණුම් අංශයේ ලිපිකරුවෙකු ලෙස සේවය කරන්නට ලැබුණි. 1937 දී බුරුමය, ඉන්දියාවෙන් වෙන් කළ අවස්ථාවේ දී, ඔහුව ප්‍රථම විශේෂ කාර්යාල පරීක්ෂක ලෙස පත් කරන ලදී.
සයාජී භාවනා කිරීම සඳහා පළමු වතාවට උත්සාහයක් දැරුවේ 1937 ජනවාරි 1 වැනිදාය. ධනවත් ගොවියෙකු මෙන්ම භාවනා ගුරුවරයෙකු ද වූ සයා තේජී ගේ ශිෂ්‍යයෙක් ඌ බා ඛිං හමු වීමට පැමිණි අවස්ථාවක දී ආනාපාන සති භාවනාව එතුමාට විස්තර කර දුන්නේය. එය වැඞීමට පටන් ගත් අවස්ථාවේදී සිතේ ඒකාග්‍රතාවය ඇති වූ නිසා එතුමාට ඒ පිළිබඳව ලොකු පැහැදීමක් ඇති වී සම්පූර්ණ පාඨමාලාවක් කිරීමට තීරණය කළේය. සතියකට පසුව දින දහයක් සඳහා නිවාඩුවක් ඉල්ලුම් කර, සයා තේජීගේ භාවනා මධ්‍යස්ථානය බලා පිටත් විය. එදින රාත්‍රියේදීම ඌ බා ඛින් සහ ලේඩි සයාඩෝ නාහිමිපාණන්ගේ බුරුම ජාතික ශිෂ්‍යයෙක් සයාතේ ජී තුමාගෙන් ආනාපාන උපදෙස් ලැබූහ. මේ සිසුන් දෙදෙනා ඉතා ඉක්මනින් ප්‍රගතියක් ලැබූ නිසා පසු දිනම විපස්සනා උපදෙස් ද ලැබූහ. මෙම පළමු දස දින පාඨමාලාවේ දී සයා ජී විශාල ප්‍රගතියක් ලැබුවේය. විටින් විට තම ගුරුතුමාගේ මධ්‍යස්ථානයට පැමිණ දිගටම භාවනා කිරීමෙන් ද, සයාතේ ජී තුමා යැන්ගුන් නුවරට පැමිණි සෑම අවස්ථාවකදීම එතුමා හමුවී සාකච්ඡා කිරීමෙන් ද තම භාවනාව දිගටම පවත්වා ගෙන ගියේය.
සයාජී ගේ රාජ්‍ය සේවය තවත් වසර 26 ක් දක්වා පැවතුණි. බුරුමයට නිදහස ලැබූ දින එනම් 1948 ජනවාරි 4 වැනිදා එතුමා ගණකාධිකාරි ජෙනරාල්වරයා ලෙස පත් විය. ඊළඟ දශක දෙක තුළදී එතුමා විවිධාකාර මට්ටමින් රාජ්‍ය සේවයේ යෙදුනි. බොහෝ අවස්ථාවලදී තනතුරු දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් දරන්නට සිදු විය. ඒ සෑම තනතුරක්ම දෙපාර්තමේන්තු ප්‍රධානියා හා සමාන විය. එක් අවස්ථාවකදී තුන් වසරක් දක්වා දෙපාර්තමේන්තු තුනක ප්‍රධානියා ලෙස සේවය කළේය. තවත් එක් අවස්ථාවකදී වසරක පමණ කාලයක් දක්වා දෙපාර්තමේන්තු හතරක ප්‍රධානියා ලෙස කටයුතු කළේය. 1956 වසරේදී එතුමාව කෘෂිකාර්මික අලෙවි මණ්ඩලයේ සභාපති පදවියට පත් කළ අවස්ථාවේදී බුරුම රජය විසින් එරට උසස්ම සම්මානය වන ත්‍රේ සීතු නම්බු නාමය පිරිනමන ලදී. සයාජී ගේ ජීවිතයේ අවසන් සිවු වසර පමණක් හුදෙක් විපස්සනා භාවනාව ඉගැන්වීම සඳහා ගත විය. සෙසු කාලය භාවනාව පිළිබඳ තම හැකියාවන් හා රාජ්‍ය සේවය වෙනුවෙන් තිබූ තම කැපවීම සම්බන්ධ කර ගෙන කටයුතු කළේය.
ගිහියන්ට, විශේෂයෙන් කාර්ය මණ්ඩලයට භාවනාව ඉගෙනීම සඳහා එතුමා විසින් 1950 දී ගණකාධිකාරි ජෙනරාල් කාර්යාලයේ විපස්සනා සංගමය පිහිටුවනු ලැබීය. 1952 දී රැන්ගුන් නුවර සුප්‍රසිද්ධ ස්වේඩගොන් චෛත්‍යයෙන් සැතපුම් දෙකක් උතුරට වෙන්න ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය (I.M.C.) විවෘත කරන ලදී. මෙහිදී සයාජීගෙන් ධම්ම උපදෙස් ලබා ගැනීමට බුරුම මෙන්ම විදේශික සිසුන් බොහෝ දෙනෙකුට වාසනාව උදාවිය.
1954-56 වසරවලදී බුරුමයේ රැන්ගුන් නුවර පවත්වන ලද සය වන සංගායනාව සැළසුම් කිරීමේ දී සයාජී විශාල කාර්යභාරයක් දැරීය.1950 දී සයාජී සංවිධාන දෙකක ආරම්භක සාමාජිකයෙක් විය. පසුව මෙම සංවිධාන දෙක බුරුම සමූහාණ්ඩුවේ බුද්ධ ශාසන මණ්ඩලය (U.B.S.C.) යනුවෙන් එක් සංවිධානයක් බවට පත් විය. සය වන සංගායනාවේ ප්‍රධාන සැළසුම් කරු වූවේ මෙම මණ්ඩලයයි. ඌ බා ඛින් තුමා බුද්ධ ශාසන මණ්ඩලයේ විධායක සාමාජිකයෙකු විය. එතුමා පටිපත්ති කමිටුවේ සභාපති වූ අතර බුද්ධ ශාසන මණ්ඩලයේ ගරු ගිණුම් පරීක්ෂක ද විය. පරිපාලන ගොඩනැගිලි, නේවාසික ගොඩනැගිලි, මුලුතැන් ගෙයක් සහ භෝජනාගාරයක් රෝහලක් පුස්තකාලයක් කෞතුකාගාරයක් සහ ලැගුම්හල් හතරක් ඇතුලත් අක්කර 170 ක පමණ භූමි භාගයක ගොඩනැගිලි ඉදිකිරීමේ වැඩ සටහනක් තිබුණි. මෙම ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණ වූයේ මහා පාෂාණ ගුහාවයි. ත්‍රිපිටකය සජ්ඣායනා කිරීමට සහ එය සංශෝධනය කර ප්රකාශණය කිරීම සඳහා බුරුම, ශ්‍රී ලංකා, තායිලන්ත, ඉන්දියා, කාම්බෝජ, සහ ලා ඕස් රටවලින් පැමිණි පන් දහසක් පමණ භික්ෂූන් වහන්සේලා රැස්වූයේ මෙම ගල් ගුහාවේ පිහිටි විශාල ශාලාව තුළය. භික්ෂූන් වහන්සේලා කණ්ඩායම් වශයෙන් රැස්වී බුරුම ශ්‍රී ලංකා තායි සහ කාම්බෝජ ත්රීපිටක සංස්කරණයන් සහ ලන්ඩන් නුවර පාලි ත්‍රිපිටක සංගමය මගින් රෝම අකුරින් ප්‍රකාශිත සංස්කරණය සංසන්දනය කරමින් මුද්‍රණය සඳහා සූදානම් කළහ. සංශෝධනය කර සම්මත කර ගත් ග්රන්ථ මහා ගුහාව තුළදී සජ්ඣායනා කරන ලදී. ගිහි ස්ත්‍රී පුරුෂයින් දස දහසකටත් පසළොස් දහසකටත් අතර ප්‍රමාණයක් භික්ෂූන් වහන්සේලාගේ මෙම සජ්ඣායනයට සවන් දීමට පැමිණියහ. 1967 දක්වා සයාජී බුද්ධ ශාසන මණ්ඩලයේ විවිධ තනතුරු දරමින් ක්‍රීයාකාරි සාමාජිකයකු ලෙස කටයුතු කළේය.බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රචාරය කිරීමට මේ අයුරින් එතුමාගේ වගකීම් සහ හැකියාවන් ගිහියෙකු ලෙසත් රාජ්‍ය නිලධාරියෙකු ලෙසත් සම්බන්ධ කර ගත්තේය. ප්‍රධාන මහජන සේවයට අමතරව එතුමා තම මධ්‍යස්ථානයෙහි දී භාවනා ඉගැන්වීම ද කරගෙන ගියේය. 1967 දී එතුමා අවසාන වශයෙන් තම විශිෂ්ඨ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත්තේය. එතැන් සිට එතුමා 1971 ජනවාරි මාසයේ දී අභාවප්‍රාප්ත වන තෙක්ම විපස්සනා භාවනා උගන්වමින් ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ වාසය කළේය.
රාජ්‍ය සේවය සඳහා එතුමාගෙන් ඉටුවීමට රාජකාරීවල ලිබූ දැඩි අවශ්‍යතාවය නිසා සයාජීට හැකි වූයේ ඉතා සිවල්ප සිසුන් පිරිසකට ඉගැන්වීමට පමණි. එතුමාගේ බුරුම සිසුන් බොහෝ දෙනෙක් රාජ්‍ය සේවයට සම්බන්ධ අය වූහ. ඉන්දීය සිසුන් බොහෝ දෙනෙක් මේ සඳහා යොමු කරනු ලැබුවේ ගොඑන්කාතුමා විසිනි. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මනා දැනුමක් තිබූ විපස්සනා ගුරුවරුන් ඒවකට නොසිටි නිසා සය වන සංගායනාවට සහභාගි වීමට පැමිණි සමහර සිසුහු විපස්සනා උපදෙස් බලා ගැනීම සඳහා සයාජී වෙත යොමු කරනු ලැබූහ. ඌ බා ඛින් තුමාගේ විදෞශීය සිසුන් සුළු පිරිසක් වුවද විවිධ කොටස්වලට අයත් වූහ. ඔවුන් අතර රැන්ගුන් නුවර විදේශීය තානාපති සේවයට අයත් අයද, ප්‍රධාන පෙළේ බටහිර බෞද්ධයන් ද, විද්වතුන් ද සිටියහ. බුරුමයෙු සිටි විදේශිකයින් සඳහා බුද්ධ ධර්මය පිළිබඳව දේශනා පැවැත්වීම සඳහා විටින් විට සයාජීට ආරාධනා ලැබුණි. මෙම දේශනා කුඩා පොත් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ඒවා අතර බුද්ධාගම යනු කුමක් ද? What Buddhism Is , නිවැරදි බෞද්ධ භාවනා ක්රමයේ නියම වටිනාකම The Real Values of True Buddhist Meditationයන ග්රන්ථ වේ.
තම ගුරුවරයාගේ අභාවප්රාප්තවීමේ ප්‍රවෘත්තිය ලැබෙන විට ගොඑන්කා තුමා ඉන්දියාවේ භාවනා වැඩසටහනක් පවත්වමින් සිටියේය. එතුමා පහත දැක්වෙන පාලි ගාථාව සඳහන් කරමින් බුරුමයේ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය වෙත විදුලි පුවතක් යැව්වේය.
අනිච්චා වත සංඛාරා,
උප්පාදවය ධම්මිනො.
උප්පජ්ජිත්වා නිරුජ්ඣධන්ති,
තේසං වූපසමෝ සුඛෝ.
මෙම ගාථාවෙහි පරිවර්තනය
සියලු සංස්කාරයෝ අනිත්‍යයහ,
ඇති වී නැති වී යන්නාහ.
ඒවා ඇති වී නිරුද්ධ වේ නම්,
ඒ නිරුද්ධ වීමෙන් ප්‍රීතිය ගෙන දේ.
වසරකට පසුව ගොඑන්කාතුමා තම ගුරුවරයා පිළිබඳව ගුණ කථනයක් කරමින් මෙසේ ලීවේය: ’එතුමා අභාවප්‍රාප්ත වී වසරක් ගත වුවත් පාඨමාලාවල සාර්ථකත්වය දෙස බලන විට මට තව තවත් තහවුරු වන්නේ බොහෝ දෙනෙකුට සේවය කිරීම සඳහා එතුමාගේ මෛත්‍රිය මට ශක්තියත් උනන්දුවත් ගෙන දෙන බවයි. ධර්මයේ ශක්තිය ප්‍රමාණ කළ නොහැකි බව ඉතා පැහැදිලියි. සයාජී ගේ අභිලාෂයන් ඉෂ්ටවෙමින් පවතියි. ශත වර්ෂ ගණනාවක් තිස්සේ ඉතා සැලකිළිමත් ලෙස රැක ගෙන ආ බුදුරජාණන් වහන්සේ විසින් දෙසූ ධර්මය දැන් මේ මොහොතේත් ප්‍රතිඵල ගෙන දෙයි.
සයාජී ඌ බා ඛිං තුමා පිළිබඳ තවත් තොරතුරුPariyatti පරියත්ති වෙබ් අඩවියෙන් ලබා ගත හැක,